English

ශ්‍රී සුනන්දාරාම මහා විහාරස්ථානය

වීදියගොඩ සංඝ පරපුර

ශ්‍රී සෙංකඩගලපුර රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සම්බුදු සසුන් කෙත වල් බිහිව උතුම් උපසපන් හිමිවරු නැතිව ගියහ. එදවස බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණෝ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව යළි පිහිටුවාලමින් ශ්‍යාමෝපාලි වංශික මහා නිකාය බිහි කරමින් ශාසන පුනරාලෝකයක් පැතිරවූහ. සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ තෘතීය ශිෂ්‍යරත්නය වූවේ ගිනිගත්පිටියේ සංඝරක්ඛිත මහා ස්වාමීන්ද්‍රයාණෝය. එහිමිගෙන් වීදියගොඩ සංඝ පරපුර බිහිවිය. රයිගම් කෝරළයේ වීදියගොඩ ශ්‍රී මහා විහාරය මූලස්ථානය කර ගනිමින් බිහි වූ මේ සඟ පරපුර සුපේශල, ශික්ෂාකාමී භික්ෂු මහ සංඝයාගෙන් පෝෂිතය. එය අද රයිගම්-සල්පිටි-හේවාගම් කෝරළත්‍රයේ පමණක් නොව ඌව, සබරගමු, උතුරුමැද පළාත් වල පවා පැතිර පවතී.

ග්‍රන්ථ ධූර - විදර්ශනා ධූර වශයෙන් දෙවැදෑරුම් වූ සසුන් මෙහෙවරට කරදී උරදී කිත් යසස් රැන්දූ යතිවරු එදා මෙන් අදත් වීදියගොඩ සඟ පරපුර බබුළුවති. ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථකරණයට යොමුවෙමින් නව පොත පත ලියමින් - පැරණි පොත් සකසමින් වැඩ සිටි හිමිවරු අතර වැල්මිල්ලේ රතනජෝති මාහිමි, කරඳන ජිනරතන නාහිමි, යටිපවුවේ මේධානන්ද නාහිමි, ඔලබොඩුවේ රතනපාල නාහිමි, රත්මල්ගොඩ දේවානන්ද නාහිමි, මාපොටේ චන්ද්‍රජෝති මාහිමි, කරඳන පඤ්ඤාලංකාර නාහිමි, හොරණ වජිරඤාණ නාහිමි, ඉළිඹේ ධම්මාලංකාර නාහිමි, වැල්මිල්ලේ සෝමානන්ද නාහිමි, කහටපිටියේ රාහුල නාහිමි, ගොඩගම විපුලසාර මාහිමි ආදී වියත් හිමිවරු පෑ පෙළහර සදා අගනී.

වෛද්‍ය - නක්ෂත්‍ර රැක ගැන්මටද වෙර වැඩූ මේ පරපුරේ යතිවරයන් වහන්සේලා අතර කරඳන වාචිස්සර නාහිමි, කිරිඇල්ලේ සද්ධාතිස්ස මාහිමි, ගෝවින්නේ සෝමරතන මාහිමි, මිල්ලනියේ වංසානන්ද මාහිමි, කුරුගල රතනසාර මාහිමි, කුඹුකේ ගුණරතන මාහිමි, ඔලබොඩුවේ ධම්මානන්ද මාහිමි, මුණගම මෛත්‍රීමූර්ති නාහිමි වෙසෙසින් සඳහන් කළ හැකිය.

වීදියගොඩ පරපුර නිසා බිහි වූ ශ්‍රේෂ්ඨ විද්‍යාස්ථාන මගින්ද ඉතා විශිෂ්ට ජාතික - ආගමික සේවාවන් සිදු විය. කරඳන ශ්‍රී දේවානන්ද නාහිමියන් විසින් ආරම්භ කෙරුණු හොරණ විද්‍යාරත්න පිරිවෙන මෙහිලා අග්‍රගණ්‍ය විද්‍යාස්ථානයයි. රාජකීය පණ්ඩිත මහනුවර ධම්මරතන මාහිමියන් නිසා අංග සම්පූර්ණ අධ්‍යාපන ආයත්නයක් වූ මෙම පිරිවෙණ ප්‍රාචීන පණ්ඩිත උපාධිය සහ විශ්වවිද්‍යාලයීය උපාධිය දක්වා අධ්‍යාපනය ලබා දෙන පරිපූර්ණ විද්‍යාස්ථානයක් බවට පත්ව ඇත.

වීදියගොඩ සඟ පරපුරේ ශ්‍රේෂ්ඨ හිමිවරුන් විසින් සිදුකරන ලද උදාර ශාසනික සේවාවන්ට ගෞරව වශයෙන් සියම් මහා නිකායේ මල්වතු මහා විහරයෙන් වරින්වර ශාසනික පදවි රාශියක් මෙම පරපුරේ මාහිමිවරුන්ට පිරිනමා ඇත. බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය, බස්නාහිර පළාතේ ද්විතීයික සංඝනායක පදවිය, රයිගම්-සල්පිටි-හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක පදවිය, රයිගම්-සල්පිටි-හේවාගම් කෝරළත්‍රයේ උප ප්‍රධාන සංඝනායක පදවිය, රයිගම්-සල්පිටි-හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය, පානදුර තොටමුණ සහිත රයිගම්-සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය, සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය, සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය,පානදුර තොටමුණ සහිත රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය, කුකුළු - අටකලන් - නවදුන් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක පදවිය ආදී නායක පදවි - කර්ම වාගාචාර්ය පදවි, මහෝපාධ්‍යාය පදවි ඉන් කීපයකි.

මෙම පදවිවලට පත්වූ මහ තෙරුන් වහන්සේලා අතර හොරණ සෝමානන්ද නාහිමි, කරඳන ජිනරතන නාහිමි, මීවනපලානේ වාචීස්සර නාහිමි, කරඳන වාචිස්සර නාහිමි,යටිපවුවේ මේධානන්ද නාහිමි,කුරුගල රතනසාර නාහිමි, මීවනපලානේ සෝරත නාහිමි, රත්මල්ගොඩ දේවානන්ද නාහිමි, හොරණ වජිරඤාණ නාහිමි, ඔලබොඩුවේ රතනපාල නාහිමි, මාකෙහෙල්වල ධම්මානන්ද මාහිමි, ඉළිඹේ ධම්මාලංකාර නාහිමි, වැල්මිල්ලේ සෝමානන්ද නාහිමි, තලගල සුමනරතන නාහිමි යන නාහිමිවරු වෙති.

වීදියගොඩ සඟ පරපුරේ විහාරස්ථානයන් අතර මීවනපලානේ ශ්‍රී සුනන්දාරාමය ඉතා කැපී පෙනෙන විහාරාරාමයකි. මෙයට අනුබද්ධ විහාරස්ථාන වශයෙන් වේරගල පුරාණ ගල්ලෙන් විහාරය, මාහිංගල මෙනේරිගම ශ්‍රී සාංඝිකාරාමය, පෝරුවදණ්ඩ ශ්‍රී ශෛලතලාරාමය, රත්නපුර මාරපන නාගාරාමය, මුණගම ශ්‍රී දේවින්දාරාමය, කහවල ශ්‍රී විජය විශුද්ධාරාමය, රක්වාන රජවත්ත ශ්‍රී බෝධි මූලාරාමය, ඉළිඹ ශ්‍රී සාංඝිකාරාමය, ගුරුගොඩ පර්ත් පැරඩයිස් මල්බෙරිගම වාචිස්සර ධර්මායතනය යන විහාරස්ථාන සඳහන් කළ හැකිය.

වීදියගොඩ සඟ පරපුරේ මුල් අවස්ථාවේම ඇති වූ ප්‍රධාන විහාරස්ථාන පහෙන් එකක් වූ පුහුවල ගංගාතිලක විහාරස්ථානය මුල්කරගෙන ඇති වූ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට මීවනපලාන විහාරස්ථ මහා සංඝයා වහන්සේ ද ඇතුළත් වෙති. එම සඟ පරපුර ව්‍යාප්තව ගිය ආකාරය මෙසේ දැක්විය හැකිය:

Meewanapalana Sanga Parapura