English

ශ්‍රී සුනන්දාරාම මහා විහාරස්ථානය

මීවනපලාන-ගුරුගොඩ
ශ්‍රී සුනන්දාරාම මහා විහාරස්ථානය

පිහිටීම

බස්නාහිර පලාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, රයිගම් කෝරළයේ උඩුගහ පත්තුවේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීවනපලාන (බටහිර) ග්‍රාමසේවා වසම

ප්‍රධාන පිවිසුම් මාර්ග

පානදුර-රත්නපුර මාර්ගය (ගුරුගොඩ මංසන්ධියේ සිට මලගල හරහා පාදුක්ක බස් මාර්ගයේ කි.මී. 2 කි)

හොරණ මීපේ හරහා පාදුක්ක මාර්ගය (උඩුමුල්ල හන්දියේ සිට මලගල හරහා හොරණ බස් මාර්ගයේ කි.මී. 15 කි.)

ආරම්භය

ක්‍රි.ව.1867 ජුනි 14, බණ්ඩාරගම ගරු ධම්මානන්ද සවාමීන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාගේ පරිහරණය සඳහා අක්කර 1/2 ක පමණ සුළු භූමි භාගයක් මීවනපලාන ගුරුගොඩ දෙගම් වාසී බෞද්ධයන් විසින් සඟසතු කොට පූජා කිරීම

1883 වර්ෂයේදී එහි ආරාමයක් තනවා එදින සිට 'මැද මූකලාන' පන්සල නමින් භාවිතා කිරීමත් ඉන් පසුව ශ්‍රී සුනන්දාරාමය ලෙසත් ප්‍රසිද්ධියට පත් වීම.

1887 දී මීවනපලානේ ශ්‍රී සුමනතිස්ස ස්වාමීන් වහන්සේ විසින් එහි අලංකාර විහාර මන්දිරයක් ඉදි කිරීම හා විවිධ විහාරාරංග ඉදි කිරීම. අනතුරුව විහාරාධිපති පදවියට පත් රයිගම් - සල්පිටි - හේවාගම් කෝරළත්රවයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනතිස්ස වාචීස්සරභිධාන නාහිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය නිසා,

  • නව දෙමහල් සංඝාවාසයක්
  • අලංකෘත දාන ශාලාවක්
  • විශ්මිත නිමවුමක් වූ සුවිසල් ධර්ම ශාලාවක්
  • අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ හා ශෛලමය ළිං පොකුණු ඝංඨාර කුළුණු ආදියෙන් පරිපූර්ණ වූ දැකුම්කළු විහාරස්ථානයක් බවට පත් වීම.

විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ 1980 පෙබරවාරි මස 08 දින අපවත් වී වදාල බැවින් ඉන් අනතුරුව පූජ්‍ය පාද උඩුවේ මංගල හිමිපාණන් විහාරධිපති තනතුරට පත් වූවත් අනපේක්ෂිත අයුරින් උන්වහන්සේද ඊට තෙමසකට පසු 1980 මැයි 26 අපවත් වීම.

වත්මන් විහාරාධිපති

හිස් වූ විහාරාධිපති පදවියට ඒ වනවිට ඉතාමත් ලා බාල වයසේ පසුවුන පූජ්‍යපාද මීවනපලානේ සුමේධ හිමිපාණන් පත්වීම. අපවත් වී වදාල ශ්‍රී වාචිස්සර නායක ස්වාමීන් වහන්සේ ආරම්භ කළ ශාසනික සේවය හා නව විහාරස්ථාන තවදුරටත් වර්ධනය කිරීම.

  • අභිනව විහාර මන්දිරය
  • සීමාමාලකය
  • පස්මහා දේවාල
  • වලාකුළු බැම්ම
  • දර්ශනීය අටවිසි බුද්ධ මන්දිරය
  • වාහල්කඩ   ආදී ඉදිකිරීම් තුලින් මෙම විහාරස්ථානය සකලාංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට වර්තමානයේ පත්ව තිබීම.

1953 වර්ෂයේ ජන්ම ලාභය ලැබ, 1965 වර්ෂයේ පැවිදි දිවියට ඇතුලත්ව, 1974 වර්ෂයේ උපසම්පදා අධිශීලයේ පිහිටා, 1980 වර්ෂයේ විහාරාධිපති පදවියට පත්ව, 2003 වර්ෂයේ අගෝස්තු 08 දින "මංගල ධර්ම කීර්ති ශ්‍රී වාචීස්වර" යන ගෞරව නාමයත් සමගින් " බස්නාහිර පලාතේ ප්‍රධාන සංඝනායක " පදවියෙන් පිදුම් ලැබීම.

ඊට අමතරව,

  • හොරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු සභාපති තනතුර
  • හොරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ වත්මන් ලේඛකාධිකාරී තනතුර
  • හොරණ පොලිස් බල ප්‍රදේශයේ සාම කමිටු සාමාජිකත්වය
  • ඉංගිරිය,හොරණ රෝහල් කමිටු සාමාජිකත්වය
  • ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආගමික උපදේශක සාමාජිකත්වය
  • ප්‍රදේශයේ සියලු ස්වේඡා සංවිධානයන්හි පැවිදි අනුශාසකත්වය
  • දිවයිනටම අදාලව සාමදාන විනිශ්චයකාර තනතුරකින් පිදුම් ලැබීම
වැනි ආගමික මෙන්ම ජාතික මට්ටමේ පිළිගැනීමකට ලක්ව සිටීම.

අනුබද්ධ විහාරස්ථාන සහ විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ :

  • වේරගල පුරාණ ගල්ලෙන් විහාරය - පූජ්‍ය ගුරුගොඩ සුමන හිමි
  • මාහිංගල මෙනේරිගම ශ්‍රී සාංඝිකාරාමය - පූජ්‍ය උඩුගලකන්දේ හේමාලෝක හිමි
  • පෝරුවදණ්ඩ ශ්‍රී ශෛලතලාරාමය - පූජ්‍ය කරඳන අස්සජි හිමි
  • මුණගම ශ්‍රී දේවින්දාරාමය - පූජ්‍ය මුණගම මෛත්‍රීමූර්ති හිමි
  • කහවල ශ්‍රී විජය විශුද්ධාරාමය - පූජ්‍ය මෑතගම සීලරතන හිමි
  • රක්වාන රජවත්ත ශ්‍රී බෝධි මූලාරාමය
  • කුඹුක පුරාණ ශ්‍රී මහා විහාරය - පූජ්‍ය බැරන්ඩිගම්පොල හේමාවාස හිමි
  • ඉළිඹ ශ්‍රී සාංඝිකාරාමය - පූජ්‍ය දීයකඩුවේ ඥානාලෝක හිමි
  • ගුරුගොඩ පර්ත් පැරඩයිස් මල්බෙරිගම වාචිස්සර ධර්මායතනය

ගොදුරු ගම්

ග්‍රාම සේවා වසම් 4 කින් සමන්විතය.

  • මීවනපලාන - නැගෙනහිර 617
  • මීවනපලාන -බටහිර 617B
  • ගුරුගොඩ - 617A
  • කිරිගල - 617C

විහාරස්ථ දායක පේරු ගණනින් 14කි. දායක පවුල් ගණන 1200ක් පමණ වේ.

අනුබද්ධ ආයතන

  • විහාරස්ථ දායක සභාව
  • පේරු දායක කොට්ඨාශ වලට අනුබද්ධ දායක සභා අනු කමිටු 14කි.
  • උපාසක උපාසිකා සමිතිය
  • කුලඟන සමිතිය
  • තරුණ බෞද්ධ සංගමය
  • ශ්‍රී වාචිස්සර මහජන පුස්තකාලය
  • දහම් පාසල් සංවර්ධන සමිතිය

ප්‍රජා සම්බන්ධතා

විහාරස්ථානය අබියස විහාරස්ථානය සතු බිම්කඩෙක ඉදිකෙරුණු,

  • වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
  • සමූපකාර ප්‍රාදේශිකය
  • උප තැපැල් කාර්යාලය
වැනි ආයතන වත්මන් විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කිරීම.මින් වෘත්තීය පුහුණුව ලබා රැකියා වල නියුක්ත වන්නන් විශාල සංඛ්‍යාවකි.
  • මීවනපලාන මහා විද්‍යාලය
  • ගුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලය
විහාරස්ථානය සතු දායක පේරු තුල පිහිටි ප්‍රදේශයේ දරුවන් විශාල ගණනක් අධ්‍යාපනය ලබන පාසල් දෙකකි. එකී විදුහල් වල අධ්‍යාපනික, ආගමික හා ජාතික වැදගත් කමින් යුතු කටයුතු වලදී විහාරස්ථානයෙන් ලැබෙනුයේ අනුපමේය සේවයකි. විහාරස්ථානයේ එබදු ආගමික හා ජාතික වැදගත් කමින් යුතු කටයුතු වලදීද එකී පාසල් දෙකෙන් වන සේවය අගය කළ හැකි මට්ටමක පවතී.
  • ශ්‍රී වාචිස්සර දහම් පාසල
  • ශ්‍රී වාචිස්සර ලදරු පාසල
වත්මන් විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කිරීම හා ඉන් විශාල සිසු පිරිසකට සේවයක් වීම අනගි ප්‍රජා සම්බන්ධතාවයට ප්‍රබල සාක්ෂියකි.

මීවනපලාන ගුරුගොඩ ගම් දෙකෙහි පිහිටුවාගෙන ඇති තරුණ සමිති, අවමංගල්‍යාධාර සමිති , වැඩිහිටි සමිති , කාන්තා සමිති, සුබ සාධන සමිති, ස.ණ.ස. සමිතිය, ස්වේච්ඡා සංවිධන ආදී සියල්ලකම පාහේ පැවිදි අනුශසකත්වය දරනුයේද වත්මන් විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ වීම ප්‍රදේශයේ ජනතාව විහාරස්ථානය කෙරෙහි දක්වන පැහැදීම පෙන්නුම් කරන සාධකයකි. ප්‍රජාවගේ අවශ්‍යතාවන් හඳුනාගෙන ඒ සියල්ලකටම පාහේ කරුණාවෙන් අනුකම්පා සහගතව සහ සම්බන්ධවීම විහාරවාසී අනෙකුත් ස්වාමීන් වහන්සේලාද සතු මහඟු ගුණයෙකි. ප්‍රදේශයේ හා දිස්ත්‍රික්කය තුළ පමණක් නොව සමස්ථ දිවයිනෙහිම පිහිටි බෞද්ධ විහාරස්ථාන හා පවත්වන ඇසුරු මිසුරු කම් මත මීවනපලාන-ගුරුගොඩ 'ශ්‍රී සුනන්දාරාමය' සම්භාවනීය යතිවරයන්ගෙන් සපිරුණ පුණ්‍ය භූමියක් බවට පත්ව තිබීම ප්‍රදේශවාසී කාගේත් ආඩම්බරයට හේතුවකි.